Skip to main content

විජේරාමේ නිල නිවසට සමුදුන් හිටපු ජනපති මහින්ද තැබූ සටහන

 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි නිල නිවසට සමුදීමෙන් පසු අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබේ.

එමගින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පසුගියදා සම්මත කිරීමත් සමග බලාත්මක වූ නව නෛතික තත්ත්වයට ගරු කරමින් තමන් නිල නිවසින් ඉවත් වූ බවය.

හිටපු ජනාධිපතිවරයා සිය මුහුණු පොතේ සටහන් කර ඇති සම්පූර්ණ සටහන පහතින්,

"ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පසුගිය 10 වන බදාදා දින පාර්ලිමේන්තු හිදී සම්මත කිරීමත් සමඟ බලාත්මක වූ නව නෛතික තත්ත්වයට ගරු කරමින් ඊයේ දින එනම් 11 වන බ්‍රහස්පතින්දා දින පස්වරුවේ, මා වෙත මෙතෙක් නීත්‍යානුකූලව ලබා දී තිබු විජේරාම නිල නිවසින් ඉවත් වූයෙමි. 

මින් පෙර ඇතමුන් විසින් විජේරාම නිල නිවසින් පිටව යන ලෙස මාධ්‍ය ඉදිරියේ සිදු කරන ලද විවිධ විධානයන් මම දුටුවෙමි. ජනතාව වෙනුවෙන් කිසිවක් කළ නොහැකිව ඉතා කෙටි කාලයක් තුළ දිනෙන් දින ජනතා අප්‍රසාදයට ලක්වන පිරිසක් තම නොහැකියාව වසා ගැනීමට මාධ්‍ය ඉදිරියේ සිදු කළ එම ප්‍රකාශයන්ට අවනත වීමේ අවශ්‍යතාවයක් මට නොතිබුණි. එහෙත් පසුව ඔවුන් විසින්ම නව නීති සම්මත කිරීමත් සමඟ පැය 24 ක කාලයක් ඇතුළත මම විජේරාම නිවසට සමු දුනිමි. ඒ අප නීතියට ගරු කළ යුතු නිසාවෙනි. මහින්ද රාජපක්ෂ වන මා හිස නමන්නේ නීතිය ඉදිරියේ සහ මගේ ජනතාව හමුවේ පමණි.

පෞද්ගලික පළිගැනීම් ඉලක්ක කරගත්, විනයක් මෙන්ම වෘත්තීමය භාවයක් රහිත දේශපාලනික ත්‍රස්තවාදයකට අප සැමට මුහුණ දීමට සිදුව ඇත. එමෙන්ම, කුරිරු ත්‍රස්තවාදය අවසන් කිරීම නිසාම ඊට ආනුෂංගිකව පැන නැඟී ඇති සිද්ධි දාමයක ඉලක්කය බවට මා පත්ව ඇත. එහෙත් ත්‍රස්තවාදය අවසන් කිරීම පිළිබඳව කිසි දිනක මා පසුතැවිලි වන්නේ නැත. මා යුධ වැදුනේ මේ මාතෘ භූමිය තුළ නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය වෙනුවෙනි. හුස්ම අප සැමට පොදුය. ජාති ආගම් භේද නැත. අපගේ හුස්ම වෙනුවෙන් තම හුස්ම අහිමි කර ගත්තේ රණවිරු දරුවන්ය. ඔවුන් විසින් දිනා දුන් අභිමානවත් ජාතියක නිදහස සංකේතවත් කිරීමට සහ එයට කෘතගුණ සැළකීමට අප සැම එක්ව අනුරාධපුර පූජා නගරයෙහි සඳ හිරු සෑය නිර්මාණය කළෙමි. සඳ හිරු පවතින තෙක් අප මාතෘ භූමිය එකම රටක් ලෙස, එකම ධජයක් යටතේ පවතීවා යන්න එයින් නිරූපණය වේ.

මාගේ වැඩිමහල් පුතු නාමල් කියූ ලෙසින්ම සියල්ල ආරම්භ වූ මගේ ගම් ප්‍රදේශයට නැවත පැමිණ සිටිමි. පැමිණියේ ද අප විසින්ම ඉදිකළ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන්මය. ගමේ ඇඹුල් තියල් මාලුවක රස විඳීමට දැන් මට හැකියාව ඇත. කොළඹ ගෙන යෑමේ අවශ්‍යතාවයක් ද නැත. කෙසේ වෙතත් සියල්ල ආරම්භ වූයේ මේ භූමියෙනි. මහින්ද රාජපක්ෂ නම් තරුණයා 1970 වර්ෂයේ මහ මැතිවරණයට තරඟ කළේ ගිරුවායෙනි. එයට අවස්ථාව ලබා දුන්නේ බණ්ඩාරනායක මැතිණියයි. ඇය තරුණ මන්ත්‍රීවරයෙකු හැටියට මා ගමන් කළ යුතු මාර්ගය පෙන්වා දුන්නාය. ඇය අපට නායිකාවක් මෙන්ම මාතාවක් වුවාය කිවහොත් එය නිවැරදිය. දේශපාලනය තුළ නිවැරදි මඟ පෙන්වීම ඉතා වැදගත්ය. රටේ පීඩිත මහජනතාව සමාජවාදය වෙත යොමු කළ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් පසුපස රුහුණු මහජන මන්ත්‍රීවරයාව සිටි දිවංගත මාගේ ආදරණීය පියාණන් සැමවිටම දක්නට ලැබුණි. මාගේ පියා නියෝජනය කළේ රුහුණේ බෙලිඅත්තේ මහජනතාව‌ගේ අපේක්ෂාවන්ය. ලාබාලතම මන්ත්‍රීවරයා වශයෙන් 1970 ජනතා රජයේ ප්‍රථම රාජාසන කථාවට ස්තුති යෝජනාව සිදු කරනු ලැබුවේ මා විසිනි. එහිදී රුහුණේ බෙලි අත්තේ මහජනතාවගේ අපේක්ෂාවන් පිළිබඳ කථා කළා මට මතකය. 

අඳුරු කාල පරිච්ඡේදයන්හි  පැවති දේශපාලන මර්දන සහ පළිගැනීම් පිටුදකිමින් අතුරුදහන් වූවන් වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ගියේ ද මේ මහින්ද රාජපක්ෂමය. අතුරුදහන් වීම්, මානව හිමිකම් උල්ලංඝනය වීම් වෙනුවෙන් පෙනී සිටිමින් නීති ආධාර ලබා දුන් ස්ථානයෙහි ලිපිනය වූයේ “නීතීඥ මහින්ද රාජපක්ෂ, සභාපති - මානව හිමිකම් හා නීති ආධාර කේන්ද්‍රය, කාල්ටන්, තංගල්ල” යන්න බව නැවතත් මාගේ සහෝදරයන්ට සිහිපත් කරමි.  පාද යාත්‍රා, ජන ඝෝෂා, මිනිස් දම්වැල් වැනි ආණ්ඩු විරෝධී අරගලයන් ජනතාවගේ යහපත උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයන් ඔස්සේ කළ සැබෑ ජන අරගලයන්ට උදාහරණය. තම දේශපාලනික පීඩනයන් හා ආතතීන් මඟ හරවා ගැනීම සඳහා කිසිවෙකුට ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැර විය නොහැක. අසත්‍ය කරුණු ප්‍රචාරය කරමින් ප්‍රධාන විපක්ෂ මතවාදීන් මර්දනය කිරීමට ගන්නා උත්සහය කණගාටුදායකය.

ජනතාව අප කෙරෙහි තබා තිබූ බලාපොරොත්තු අධිකය. එම බලාපොරොත්තු දැඩිකම නිසාම පසුගිය කාලය තුළ යම් යම් සිද්ධීන්ට මුහුණ දීමට සිදුවුණි. මහින්ද රාජපක්ෂ තීරණ ගත්තේ සිතට එකඟව රට වෙනුවෙනි. ජනතාවගේ ආදරය සහ ලෙංගතුකම තරම් වටිනා දෙයක් මා හට නොමැත. අතීතයේ ලද ජනතා ආදරයම අද ද ඒ අයුරින්ම ලැබීම මා ලද වරප්‍රසාදයයි. එම වරප්‍රසාදය අහිමි කිරීමට කිසිවෙකුට නොහැක. අපගේ ගෞරවණීය ස්වාමීන් වහන්සේලාගෙන් සැමදා එක ලෙස මා ලද ආශිර්වාදය භෞතික වරප්‍රසාද ඉක්මවා යන්නකි. මාගේ ආදරණීය බිරිඳ ශිරන්ති දේශපාලනයේ නිරත වීමට අවැසි මානසින නිදහස ලබාදෙමින් සැමදා මා හට ශක්තියක් වූවාය. 

එදත් අදත් මා අසලින්ම සිටි සහ සිටින ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රමුඛ මාගේ ආරක්ෂක නිල දරුවන්ගෙන් ලැබෙන ආරක්ෂාව රැකියාවට එහාගිය අතිශය ආදරණීය බැඳීමකි. විජේරාමයේ සිටිය ද, තංගල්ලේ සිටිය ද මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමය. මහින්ද රාජපක්ෂට මේවන විට මුක්කු ගැසීමට අවශ්‍ය බවට සිදු කළ ප්‍රකාශයක් මා හට දැනගැනීමට ලැබිණි. පෞද්ගලිකව මා ඉලක්ක කර ගැනීම පිළිබඳ ප්‍රතිචාර නොදක්වමි. එහෙත් මා ජීවත්ව සිටින තෙක්, අප සැම ජීවත්වන කෙදිනක හෝ මිහිදන් වන සිංහ ධජය සෙවනේ පවතින මෙම ඒකීය මාතෘ භූමියට කුමන හෝ අයෙකු ද්‍රෝහි වුවහොත් කෙතරම් පීඩා මධ්‍යයේ වුවද මා නැඟී සිටින බව ප්‍රකාශ කරමි. එදිනට අවශ්‍ය වුවහොත් මුක්කු ගසා උර දීමට මේ රටේ මහා සංඝරත්නය ප්‍රමුඛ ආදරණීය ජනතාව සිටින බව මම හොඳින් දනිමි. ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂට දේශපාලන තර්ජන, ගර්ජන හොඳින් හුරු පුරුදුය

Comments

Popular posts from this blog

නේපාලය වෙත ගුවන් ගමන් තහනම්

  නේපාලය වෙත සිදුකෙරෙන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවූ බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි. නේපාලය තුළ මේ වනවිට ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත. ඊයේ (09) රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම එරට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. උත්සන්න වන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා මෙම තීරණ ගෙන ඇති බව එරට හමුදාව පැවසීය. අර්බුදයෙන් ප්‍රයෝජන ගනිමින් ඇතැම් කණ්ඩායම් කොල්ලකෑම්, ගිනි තැබීම් සහ දේපොළ විනාශ කිරීම සිදුකරන බව ද නේපාල හමුදාව නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වේ. සමාජ මාධ්‍ය තහනම් කිරීමට එරෙහිව නේපාලයේ විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, අගමැතිවරයාගේ නිවස ඇතුළු ගොඩනැගිලි රැසක් ගිනි තබා ඊයේ විනාශ කර තිබුණි. පුද්ගලයින් රැසකට මරු කැඳවූ නේපාල විරෝධතාවලින් අනතුරුව එරට අගමැති KP ෂර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ පනවා ඇති ඇඳිරිනීතිය නොතකා සිදුකරන විරෝධතා අතරතුර අගමැති ඕලිගේ නිවස, ජනාධිපති රාම් චන්ද්‍ර පෝදල්ගේ නිවස, නේපාලයේ පාලක කොංග්‍රස පක්ෂයේ කාර්යාලය, මෙන්ම තවත් දේශපාලනඥයින් පිරිසකගේ නිවාස ගිනි තබා වනසා ඇති පසුබිමකය...

හිටපු ජනාධිපති මහින්ද විජේරාම නිල නිවසට පිටව යයි

 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද (11) දහවල් 1.15ට පමණ නික්ම ගියේය. ඒ "ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද වනතුරු නිල නිවස භාවිත කරනු ලැබූ අතර, ඊයේ (10) දිනයේ සම්මත වූ පනතට අනුව ඔහුට ද එම වරප්‍රසාදය අහිමි වී ගියේය. ඒ අනුව ඔහු විජේරාමයේ පිහිටි නිල නිවසින් නික්ම අද දහවල් හම්බන්තොට කාල්ටන් නිවස වෙත මෙලෙස ගමන් ඇරඹීය.

බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 556ක් අධීක්ෂණය කරමින් සිටිනවා - මහජන ආරක්ෂක ඇමති

 බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 556 ක් අධීක්ෂණය කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. පාර්ලිමේන්තුවේ සභාව කල් තබන අවස්ථාවේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, පොලීසිය හා බුද්ධි අංශ විසින් එම අධීක්ෂණ ක්‍රියාවලිය මෙහෙයවන බවයි. වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් වෙඩි තැබීම් 103 ක් සිදුකර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, ඊට සම්බන්ධ වෙඩික්කරුවන් 33ක් ඇතුළු සැකකරුවන් 322 කු අත්අඩංගුවට ගෙන ඇති බවයි. වසරේ මේ දක්වා කාලය තුළ T56 ගිනි අවි 58 ක්, පිස්තෝල 61 ක් ඇතුළු නීති විරෝධී ගිනි අවි 1698 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා පැවසුවේ, රතු නිවේදන නිකුත් කර ඇති විදේශවල සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 14ක් මේ වනවිට එම රටවලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි